Iklan

අගමැති හරිනි ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සම කැඳවීමට දින දෙයි

Friday, November 22, 2024
Last Updated 2024-11-22T14:50:53Z
masukkan script iklan disini

 


අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියම කළේය.


ඉකුත් වසරේ දී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේදී ජාතික ජන බලවේගයේ කාන්තාවන් පිරිසක් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ප්‍රහාර එල්ල කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් එවක වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව මෙම පෙත්සම ගොනු වී තිබුණි.


මෙම පෙත්සම අද (22) යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.


එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගත් පිරිසකට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් පැවැත්වෙන බවත් එම නඩු කටයුත්ත ඉල්ලා අස්කර ගන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද? යන කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවත් පවසා සිටියේය. 


එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ මීට අදාළව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගත යුතු බවය. 


ඒ අනුව පෙත්සම යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කලේය.


මෙම පෙත්සම ගොනු කර තිබුණේ වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටහච්චි ඇතුළු ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් විසිනි. 


එහි වග උත්තරකරුවන් ලෙස එවක වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම, මිරිහාන යන පොලිසිවල ස්ථානාධිපතිවරු මෙන්ම නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. 


2023 වසරේ දෙසැම්බර් මස 04 වන දා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය පැවති අවස්ථාවේ දී කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්වත්ත මංසන්ධියේ තමන් රැස්ව සාමකාමී විරෝධතාවක් පැවැත්වූ බව පෙත්සම්කරුවන් පැවසීය.


එම අවස්ථාවේදී පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රැස් ව සිටි පිරිසට එරෙහිව ජල ප්‍රහාර එල්ල කර සාමකාමී විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරුවන් චෝදනා කළ අතර මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads