වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබේ.
ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ විය.
එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව සඳහන්ය.
මෙම තත්ත්වය තුළ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝග පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ස්කෑන් පරීක්ෂණවලදී පොළොව අභ්‍යන්තරයේ යම් දෙයක් ඇති බවට නිරීක්ෂණය විය.
ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, වේයන්ගොඩ පොලීසියට නියෝග කර තිබුණේ මහජනතාව ඉදිරියේ එම ස්ථානයේ කැණීම් සිදු කරන ලෙසය.
කෙසේවෙතත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මින් පෙර සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී මෙහි නිධානයක් නොමැති බවට තොරතුරු හෙළිව තිබුණා.
රාජ්‍ය ආයතනවල මැදිහත්වීමෙන් මෙරටදී සිදු කරන පළමු නිධන් කැණීම් අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.
ඒ අනුව, මේ වන විට එහි අඩි 20 කට අධික ගැඹුරකට කැණීම් සිදුකර ඇති අතර, මේ වන විට විශාල විශ්කම්භයකින් යුත් ගලක් මතුව තිබෙනවා.
ඒ හේතුවෙන් ඊයේ දිනයේ කැණීම් තාවකාලිකව නවතා දැමුණි.
එය පුපුරුවා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

