වර්ෂාව මැද ගමේ වැව පිටාර ගලන අන්දම බැලීමට ගිය පුද්ගලයෙකු වවුනියාව මහකච්චකොඩිය ඒරුපොතාන වැවේ වානෙන් මහා ජල කද මතට වැටී 26 දා සවස අතුරුදහන් වි තිබේ.
මෙසේ අතුරුදහන් වී ඇත්තේ ඒරුපොතාන ගමේ පදිංචි 31 හැවිරිදි හසාන් චිරන්ත ගුණවර්ධන නැමති අයෙකි. ඔහු සමග තවත් මිතුරන් කීප දෙනෙකු ඒරුපොතාන වැවට ගොස් ඇති අතර ඔහු වානේ එහා මෙහා යමින් සිටියදි එක්වරම වානෙන් ජලය ගලා යන මහ ජල කද මතට වැටී තිබේ.
ජල පහරට හසු වී ගසා ගෙන ගිය ඔහු වරක් ගසක අත්තක එල්ලුණු බවත් ස්වල්ප වේලාවකින් එම අත්තෙන් ගිලිහී ඔහු යළිත් ජලකද මතට වැටී නොපෙනී ගිය බවත් ඔහු සමග සිටි අනෙක් පිරිස මාමඩුව පොලීසියට ලබා දුන් කට උත්තරයක සදහන් වේ.
මෙම පුද්ගලයා අතුරුදහන් වීමෙන් පසුව ගමේ ධීවරයින් හා ගම්වාසීන් ඔහුව සෙවීම පිණිස දැඩි පරිශ්‍රමයක් දරා ඇතත් මේ වන තුරු ඔහු හමු වී නොමැත.
සිද්ධිය පිළිබදව පොලීසිය කළ දැණුම් දීමක් මත නාවික හමුදාවේ විශේෂ කිමිදුම් හා පිහිණුම් කණ්ඩායමක් ඒරුපොතාන වැවට පැමිණ අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ කට යුතු උදෑසන ආරම්භ කොට තිබේ.
මාමඩුව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

