නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයාගැනුණා.
මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවටයි.
එම මෝටර් රථය භාවිත කිරීමේ චෝදනාවට පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ මහතාව කටුගස්තොටදී, මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
අනතුරුව රත්වත්තේ මහතාගේ බිරිය වන ශෂි ප්‍රභා රත්වත්තේ මහත්මියද නොවැම්බර් 4 වනදා අත්අඩංගුවට ගත් අතර, අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය දැනුවත් භාවයකින් පසු වී ඇතැයි විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සළකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ මහත්මිය නොවැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.
පසුව නොවැම්බර් 07 වැනිදා සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ, සැකකරුවන් යළි නොවැම්බර් 18 දක්වා බන්ධනාගාර ගත කරන ලෙසයි.
නොවැම්බර් 18 වැනිදා නියෝග කළේ යළි දෙසැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යි.
ඒ අනුව සැකකරුවන් අද (02) පෙරවරුවේ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී සැකකරුවන් වෙනුවෙන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කරුණු දැක්වූ නීතීඥවරුන් කියා සිටියේ සිය සේවාදායකයින්ට එරෙහිව ගොනුකර ඇත්තේ මෝටර් රථ වානහ පනතේ වැරදි පමණක් වන බැවින් එම චෝදනාවලට ඇප ලබාදිය හැකි බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසයි.
කෙසේ වෙතත් සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නුගේගොඩ මහෙස්ත්‍රාත්වරිය සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ සැකකාර ශෂි ප්‍රභා රත්වත්තේ දෙසැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කළා.
ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහුගේ බිරිඳ නොවැම්බර් 04 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
එමෙන්ම තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ලොහාන් රත්වත්තේ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමද දෙසැම්බර් 09 වැනිදා කැඳවීමට නියමිතයි.
බන්ධනාගාරගතව සිටි ලොහාන් රත්වත්තේ මහතා හදිසියේ අසනීප වී කොළඹ ජාතික රෝහලට බන්ධනාගාර රැකවරණය යටතේ මාරු කළ අතර ඔහුට වැලඳි ඇති රෝගය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන දෙසැම්බර් 09 වැනිදාට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.
එම වාර්තාව ද ලබන දෙසැම්බර් 09 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අකිලා නදීෂානි බණ්ඩාර

