ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මහ මැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු අසුනට පස් කොන් සටනක් නිර්මාණය වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවන් ඊයේ(19) කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට රැස්වුණා.
පක්ෂයට හිමි ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තරුණ නියෝජනයක් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.
ඒ අනුව කුසලානය ලකුණින් යුතු පොදු ජන එක්සත් නිදහස් සන්ධානය ඒ සඳහා හිටපු අමාත්‍ය කාංචන විජේසේකරගේ නම යෝජනා කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයෙන් නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතාගේ නමද නිමල් ලංසා මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා සිය නම ද යෝජනා කර තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම සාකච්ඡාවට සහභාගී නොවූ නමුත් ඔහු සිය නම ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති බවයි හිටපු ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී දැනුම් දී ඇත්තේ.
එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාඋල්ලා මහතාගේ නම ද මෙහිදී යෝජනා වී තිබෙනවා.
එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද දිනයේදී ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵලයට අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර දෙකක් හිමි විය.
කෙසේවෙතත් සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පක්ෂයේ ලෙකම්වරිය විසින් නම් කළ රවී කරුණානායක මහතාගේ නම පසුගිය දා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළේය.
එම පෙරමුණ නියෝජනය කරන පක්ෂ කිහිපයක්ම පවසා ඇත්තේ රවී කරුණානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීම නිත්‍යානුකුල නොමැති බවයි.
පාර්ශ්ව රැසක් රවි කරුණානායකගේ නම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා මතු කර ඇති බවද සඳහන්.
මේ අතර ඊයේ පැවති එම පෙරමුණේ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාව සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.

