Iklan

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමේ අවදානමක්

Tuesday, November 26, 2024
Last Updated 2024-11-26T15:52:00Z
masukkan script iklan disini

 


ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හෙට (27) දිනයේදී සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 


නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස දින කිහිපයක සිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලට තද වැසි ඇදහැලෙමින් පවතියි.


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පීඩන අවපාතය මේවන විට මඩකලපුවට කිලෝමීටර 290 ක් සහ ත්‍රීකුණාමලයට කිලෝමීටර 410 ක් පමණ එපිටින් ගිනිකොණ දෙසින් පිහිටා ඇති බවයි.


වර්ෂාවෙන් මෙතෙක් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ නැගෙනහිර පළාතට ය.


ගතවූ පැය 24දී වැඩිම වර්ෂාපතනය අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම අගය මිලිමිටර් 311.1කි. 


එම පළාතේ ජලාශ රැසක් පිටාරයාම නිසා මාර්ග ගණනාවක ගමනාගමන කටයුතුද ඇනහිට තිබේ.


අම්පාර කොණ්ඩුවටුවාන ජලාශය සුදුවැල්ල ප්‍රදේශයෙන් වාන් දැමීම නිසා අම්පාර ඉඟිණියාගල මාර්ගය මුළුමනින්ම වසා දැමුණි.


එහි ගමනා ගමන කටයුතු සඳහා යුද හමුදාවේ ද සහාය ලබාගෙන තිබේ. 


අම්පාර ආදල්ඔය පිටාර දැමීමෙන් අම්පාර මහනුවර උහන මාර්ගය ජලයෙන් යටවී තිබුණි. 


එමෙන්ම අම්පාර මහඔය සහ දමන යන ප්‍රදේශ ඇතුළු තවත් ප්‍රදේශ රැසක මාර්ග ඇතුළු පහත්බිම් ජලයෙන් යටව පවතියි. 


ඇද හැලෙන තද වැසි හේතුවෙන් නැගෙනහිර පළාතේ උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවන සියලු මුස්ලිම් පාසල් අද මෙන්ම හෙටත් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා දැනුම් දී තිබුණි.


තද වැසි හේතුවෙන් උතුරු මැද පළාතේ ප්‍රදේශ ගණනාවක ජන ජීවිතයේ දෛනික කටයුතු අඩපණ වී තිබේ.


අධික වර්ෂාවත් සමඟ රජරට ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතකර ඇති බව වාර්තා විය. 


වර්ෂාවත් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල - මාදුරුඔය ප්‍රධාන මාර්ගයේ පාලමක් සහ ඒ අසළ මාර්ගයක් ගිලා බැස ඇති අයුරු දක්නට ලැබුණි.  


මේ හේතුවෙන් පොළොන්නරුව අරලගංවිල හරහා මාදුරුඹය ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමීය.


මේ අතර වැසි තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 15ක පවුල් 22,532ක පුද්ගලයන් 77,670ක් පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.


එසේම අපදා අනතුරු හේතුවෙන් එක් මරණයක් වාර්තා වී ඇති අතර තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.


අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 821 කට අයත් පුද්ගලායින් 2,770ක් සහන මධ්‍යස්ථානවල රඳවා ඇති බවය.


එසේම අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 6ක් විනාශ වී ඇති අතර තවත් නිවාස 65කට අර්ධ හානි සිදුව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads