Iklan

උසස් පෙළ විභාගය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Monday, November 25, 2024
Last Updated 2024-11-25T14:18:42Z
masukkan script iklan disini

 


මෙවර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 12 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළේය.


මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 


පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පැවසුවේ මෙම විභාගය අද දින පෙරවරුවේ ආරම්භ වූ බවය.


පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියද්ද මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සංශෝධනය කොට කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.


එම අවස්ථාවේදී  වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ඉදිරියේදී ගොනු කිරීමට නියමිත සංශෝධිත පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමේ අයිතිය තමන් රඳවා ගන්නා බවය. 


ඒ අනුව සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට අවසර දුන් අධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙස නියෝග කළේය.


මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂිකාවක වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඒ .එම්. හංසනී කවිෂා අලහකෝන් නමැති ශිෂ්‍යාවක් විසිනි. 


එහි වග උත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර ඇත. 


පෙත්සම්කාරිය අදාළ පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ 2023 වසරේ නොවැම්බර් මස 29 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව 2024 වසරේ අධ්‍යයන වර්ශය රජයේ පාසල්, රජයේ අනුමත පුද්ගලික පාසල් හා පිරිවෙන්  දින 170 ක් පැවැත්විය යුතු බව  දක්වා තිබෙන බවය.


එහෙත් එම  දින 170ක  අධ්‍යයන කාලය සම්පූර්ණ වීමට පෙර උසස් පෙළ විභාගය පැවැත්වීමට වගඋත්තරකරුවන් ගෙන තිබෙන තීරණය තුලින් එම විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවය.  


විශේෂයෙන්ම පළමු වරට මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට මේ හේතුවෙන් දැඩි අසාධාරණයක් සිදුවන බවත් අදාළ පෙත්සම මගින් පෙන්වා දී තිබේ.


ඒ අනුව දින 170 ක අධ්‍යයන  කාලසීමාව සම්පූර්ණ වීමට පෙර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා තෙක් එම විභාගය පැවැත්වීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් එකී පෙත්සමෙන් ඉල්ලා තිබේ.


ඊට අමතරව  මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

ads