ඊයේ (21) ආරම්භ වූ අබුඩාබි ටී10 ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවති සම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට සිදුවිය.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 106ක් රැස්කිරීමට සමත් විය.
බංගලා ටයිගර්ස් ඉනිමේ අවසන් භාගයේදී වේගවත් ඉනිමක් ක්රීඩා කළ දසුන් ශානක පන්දු 27කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 62ක් රැස්කිරීමට සමත් විය.
ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 4ක් අන්තර්ගත විය.
දසුන් මුහුණදුන් පළමු පන්දු 16ටම රැස්කළ හැකිවූයේ ලකුණු 19ක් නමුත් ඉතිරි පන්දු 11ට ලකුණු 43ක් රැස්කිරීමට ඔහුට හැකිවිය.
කෙසේ නමුත් මෙහිදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 107ක ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී තරගයේ 9.3වැනි පන්දුවාරයේදී පසුකර යාමට සම්ප් ආමි කණ්ඩායම සමත් විය.

